ආයුබෝවන්! හෙළ කිතුනු ගීත සාහිත්‍යයේ සයිබර් අවකාශයීය නවාතැනට ආරාධනා..!

මීට දින කීපයකට ඉහත දී සිංහල ගීතිකාවක ගේය පද සොයා ගැනීමට උවමනා වූ මා එම ගීතිකාවේ නම සිංහල යුනිකේතයෙන් යතුරු කර ගූගල් සෙවුමක් කළෙමි. කිහිප ආකාරයකට යතුරු කර ගූගල් සෙවුම් කළ ද එම ගීතිකාවේ ගේය පද මට සොයා ගත නොහැකි විය. වර්තමානය වන විට බොහෝමයක් සිංහල ගීත මෙන්ම එම ගීත වල ගේය පද ද අන්තර්ජාලය තුළ සිංහල යුනිකේතයෙන් ගූගල් සෙවුම් කර සොයා ගත හැකි වුව ද, සිංහල ගීතිකා තවමත් සිංහල සයිබර් අවකාශයට එක් වී නොමැති බව මා ඉන් වටහා ගතිමි. අන්තර්ජාලය තුළ ඇති සිංහල අන්තර්ගතයේ මෙම අඩුව පිරවීමට මා එදින සිතා ගතිමි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය වන්නේ අන්න එම අඩුව පිරවීම සඳහා ය. ශත වර්ෂ ගණනක ඉතිහාසයක් ඇති හෙළ කිතුනු ගීත සාහිත්‍යයේ සයිබර් අවකාශයීය නවාතැන්පළ මෙය බවට පත් කිරීම මාගේ අභිලාශයයි. සිංහල ගීතිකා වල හඬපට (Audio Tracks), ගේයපද (Lyrics) සහ ස්වරප්‍රස්ථාර (Notations) මෙම වෙබ් අඩවිය හරහා පාඨක ඔබ වෙත ලබා දීමට ඉදිරියේදී මා බලාපොරොත්තු වෙමි.

මෙය හුදෙක් අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩිකිරීමේ අරමුණින් කරන්නක් බැවින් මේ වෙබ් අඩවි‍ය සාර්ථක කරගැනීමට පාඨක ඔබගේද දායකත්වය අපේක්ෂා කරමි. ඇරඹුමක් ලෙස සිංහල ගීතිකා වල ගේය පද සහ ඇතැම් ගීතිකා වල හඬපට ඔබ වෙත ගෙන ඒමට මා බලාපොරොත්තු වෙමි. සෑම ගීතිකාවකම හඬපට සහ ස්වරප්‍රස්ථාර ලබා දීම සඳහා ඔබගේ දායකත්වය අපේක්ෂා කරමි.

ඔබ සතුව ඇති සිංහල ගීතිකා වල හඬපට, ගේයපද සහ ස්වරප්‍රස්ථාර ඊමේල් මගින් ලබා දෙමින් මෙම අඩවියට දායක වීමට ඔබත් කැමති නම් පහත සඳහන් ඊමේල් ලිපිනයෙන් මා හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි.

sinhalageethika [at] gmail [dot] com

සංගීතය යනු විශ්වීය භාෂාවකි. යම් ආගමකට විශේෂ වුවද ගීතිකා යනුත් සංගීතයේම කොටසකි. එමනිසා ගීතිකාවකට සවන්දීමට, ගීතිකාවක් රසවිඳීමට ජාති ආගම් භේදයක් නැත. ඉතින් මේ ලංකාද්වීපයේම ශත වර්ෂ ගණනක් පුරා හෙළ බසින් ලියැවුනු, මේ හෙළ කිතුනු ගීතිකා අසන්නට, කියවන්නට, රස විඳින්නට, ඉඳහිට මේ වෙබ් අඩවියට ගොඩවන්නට ඔබ සැමට ඉතා ‍ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.

ස්තූතියි!
ජේසු පිහිටයි!

වෙබ් අඩවි කර්තෘ
හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා
http://www.sinhalageethika.info

සිංහල, ගීතිකා, ගිතිකා, Sinhala, Sinhalese, Hymns, Geethika, Githika, Geetika, Gitika, Lyrics, Download, Mp3, Listen

පටුන